
වසර 16ක් පුරා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මහජනයාට ප්‍රතිකාර කිරීම හා ගබ්සා කිරීම් සිදු කළ හොර වෛද්‍යවරයකු, බෙහෙත් පෙති විසිදහසකට අධික සංඛ්‍යාවක් ඇතුළු වෛද්‍ය උපකරණ සමඟ ගම්පොළ කොට්ඨාස නොවිසඳුණු අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ ගලහ පාලම හන්දිය අසල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන බවට ගම්පොළ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය විසින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙම වැටලීම සිදු කොට තිබිණි.
උපාය දූතයන් යොදවා සිදුකළ පරීක්ෂණ අනුව ගබ්සා කිරීම් වලදී කලලයේ සති අනුව රුපියල් 15,000 සිට රුපියල් විසි දහස, විසිපන් දහස, තිස් දහස ලෙස මුදල් අය කර ඇති අතර උපාය දූතයා රුපියල් පහළොස් දහසකට මෙහිදී ගබ්සාවක් කිරීමට ගිය අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සැකකරුගේ පියා වෛද්‍යවරයකු ලෙස සේවය කොට මියගොස් ඇති අතර ඔහුගේ වෛද්‍ය සහතික උපයෝගී කර ගනිමින් මොහු මෙසේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
පියා සිටින කාලයේ ඔහුට උදවු කිරීම හා ෆාමසිවල වැඩ කිරීම හැර මොහු කිසිදු වෛද්‍ය පුහුණුවක් ලබා නොමැති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
කෙසේ වුවත් ගලහ වතු ජනයා ඇතුළු සියලු දෙනාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ඇති මොහු එක බෙහෙත් වේලෙන්ම රෝගී තත්ත්වය සුව කර ඇති නිසා වන්ෂොට් නමින් ප්‍රදේශය තුළ ප්‍රසිද්ධව සිටි බවද පොලිසිය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් මොහු ගලහ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර සැකකරු ඊයේ (14දා) දින මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
No comments: